යේමනයේ පවතින සිවිල් යුද්ධය සහ ආර්ථික කඩා වැටීම හේතුවෙන් එරට ගුරුවරුන් සිය ජීවිකාව පවත්වාගෙන යාමට නොහැකිව දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වේ. වසර ගණනාවක් පුරා වැටුප් නොලැබීම හෝ ඉතා අවම වැටුප් ලැබීම හේතුවෙන් බොහෝ ගුරුවරුන්ට සිය දෛනික වියදම් පියවා ගැනීමට අතිරේක රැකියා කිහිපයක නිරත වීමට සිදු වී තිබේ. අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ වසර 31ක අත්දැකීම් සහිත ගුරුවරුන් පවා දිනකට රැකියා තුනක නිරත වෙමින් සිය පවුල් නඩත්තු කිරීමට වෙහෙසෙන බවයි.
මුකල්ලා වැනි නගරවල ගුරුවරුන් උදෑසන රජයේ පාසල්වල ද, පසුව පෞද්ගලික පාසල්වල ද සේවය කර රාත්‍රී කාලයේ හෝටල් වැනි ස්ථානවල රැකියා කරමින් අතිශය දුෂ්කර ජීවිතයක් ගත කරති. පවතින උද්ධමනය හමුවේ ලැබෙන සොච්චම් වැටුප ආහාර පාන සඳහා පවා ප්‍රමාණවත් නොවන බැවින් ගුරු වෘත්තිය අත්හැර දමා කුලී වැඩට යන පිරිස ද ඉහළ ගොස් ඇත. මේ හේතුවෙන් එරට අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමේ අවදානමක් මතුව තිබේ.
අක්‍රමවත් වැටුප් ගෙවීම්වලට එරෙහිව යේමනය පුරා ගුරු විරෝධතා වර්ධනය වෙමින් පවතින අතර, ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් වී මෙම මානුෂීය අර්බුදයට විසඳුමක් ලබා දිය යුතු බව අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියැලෙන්නන් ඉල්ලා සිටිති. රටේ අනාගත පරපුර හැඩගස්වන ගුරුවරුන් සාගින්නෙන් සහ ණය බරින් පීඩා විඳීම යේමනයේ සමාජ ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් වී ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.














