අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සහ තාක්ෂණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් සිසුන් 10 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. ඉකුත් 04 වැනිදා රාත්‍රියේ තාක්ෂණ පීඨයේ සිසුන් පිරිසක් සංවිධානය කර තිබූ සංගීත ප්‍රසංගයක් අතරතුර කළමනාකරණ පීඨයේ සිසුන් පිරිසක් එතැනට පැමිණීමත් සමඟ මෙම ආරවුල හටගෙන ඇත.
සිද්ධිය සැලවූ වහාම ක්‍රියාත්මක වූ අක්කරපත්තුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළු වී තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබේ. ගැටුමට සම්බන්ධ වූ බවට හඳුනාගත් කළමනාකරණ පීඨයේ තෙවන සහ සිව්වන වසරවල සිසුන් 10 දෙනෙකුගේ පන්ති තහනම් කර ඔවුන්ව නිවෙස් කරා යැවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අක්කරපත්තුව පොලිසිය සහ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය එක්ව මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. විශ්වවිද්‍යාලය තුළ නැවත මෙවැනි ගැටුම්කාරී තත්ත්වයන් ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්නා බවත්, විනය විරෝධීව කටයුතු කරන සිසුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් පාලනාධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරයි.














