චීන විදේශ අමාත්‍ය වැන්ග් යී (Wang Yi) මහතා හෙට (09) සහ අනිද්දා (10) යන දෙදින තුළ උතුරු කොරියාවේ නිල සංචාරයක නිරත වන බව චීන විදේශ අමාත්‍යාංශය අද (08) නිවේදනය කළේය. කොවිඩ්-19 වසංගතය සහ රුසියානු-යුක්රේන යුද්ධයත් සමඟ මඳක් අඩපණ වූ දෙරට අතර සබඳතා යළි ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබේ.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නින්ග් (Mao Ning) මහත්මිය ප්‍රකාශ කළේ, උතුරු කොරියාව සමඟ උපායමාර්ගික සන්නිවේදනය ශක්තිමත් කිරීමටත්, දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවීමටත් චීනය සූදානම් බවයි. මෙම සංචාරය ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියට ගෙන යාම සඳහා ගනු ලැබූ වැදගත් පියවරක් ලෙස ඇය හඳුන්වා දුන්නාය. වසර හයකට පසු බීජිං සහ පියොන්ග්යැන්ග් අතර මගී දුම්රිය සේවය පසුගිය මාර්තු මාසයේදී යළි ආරම්භ වූ අතර, එයාර් චයිනා (Air China) ගුවන් සේවය ද සිය මෙහෙයුම් යළි ආරම්භ කර තිබේ.
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් මහතා පසුගිය සැප්තැම්බර් මාසයේදී බීජිං නුවර සංචාරයක නිරත වූ අතර, එහිදී ඔහු චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හමු විය. අනතුරුව චීනයේ දෙවන පෙළ නායකයා වන අගමැති ලී කියැන්ග් (Li Qiang) මහතා ද ඔක්තෝබර් මාසයේදී පියොන්ග්යැන්ග් නුවර සංචාරය කළේය. දෙරට අතර සබඳතා වර්ධනය කිරීම චීන රජයේ ස්ථාවර ප්‍රතිපත්තියක් බව චීනය මෙහිදී යළි අවධාරණය කර ඇත.














