ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් සති දෙකක සටන් විරාමය ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා විසින් සාදරයෙන් පිළිගෙන ඇති නමුත්, එම එකඟතාවයට ලෙබනනය ද ඇතුළත් විය යුතු බව ඔහු අවධාරණය කරයි. අද (08) පැවති ආරක්ෂක රැස්වීමකදී අදහස් දක්වමින් මැක්‍රොන් මහතා පෙන්වා දුන්නේ ලෙබනනයේ පවතින තත්ත්වය තවමත් අතිශය බරපතළ මට්ටමක පවතින බැවින්, සටන් විරාමයේ වාසිය එම රටට ද හිමි විය යුතු බවයි.
මේ අතර, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මහතාගේ කාර්යාලය ප්‍රකාශ කළේ ඉරානයට එරෙහි ප්‍රහාර තාවකාලිකව අත්හිටුවීමට ඇමරිකාව ගත් තීරණයට තමන් සහය දක්වන නමුත්, මෙම සටන් විරාමය ලෙබනනය සඳහා අදාළ නොවන බවයි. මෙම ප්‍රකාශයත් සමඟ කලාපීය සාමය පිළිබඳ යම් ගැටලුකාරී තත්ත්වයක් මතු වී තිබේ.
පින්ලන්ත ජනාධිපති ඇලෙක්සැන්ඩර් ස්ටබ් (Alexander Stubb) මහතා ද සිය X ගිණුම හරහා අදහස් දක්වමින් කියා සිටියේ, මෙම තාවකාලික සටන් විරාමය හෝමුස් සමුද්‍ර සන්ධියේ සහ සමස්ත මැදපෙරදිග කලාපයේම ස්ථිර සාමයක් සඳහා පදනමක් කරගත යුතු බවයි. යුද්ධය අවසන් කිරීම සඳහා ගන්නා සියලු උත්සාහයන්ට පින්ලන්තයේ සහය හිමි වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.















