මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව ජලාශභාර ඉංජිනේරුවෝ පවසති. අද (08) අලුයම වන විට මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 47ක් දක්වා ද, කාසල්රී ජලාශයේ ජල මට්ටම අඩි 43.8ක් දක්වා ද පහළ බැස තිබේ.
ජල මට්ටම මෙලෙස අඩුවීමත් සමඟ ජලාශ ඉදි කිරීමේදී යට වූ පැරණි නටඹුන් සහ දූපත් රැසක් මේ වන විට යළි මතු වී ඇත. මෙම ජලාශ දෙක මූලික වශයෙන් විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන් සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාර සඳහා ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍ර වේ.
පවතින තත්ත්වය මත ජල විදුලි උත්පාදනය කෙරෙහි ද බලපෑම් එල්ල විය හැකි අතර, මෙම ජලාශවලින් මුදා හරින ජලය අවසානයේ කැළණි ගඟට එක් වේ. වියළි කාලගුණය තවදුරටත් පැවතුණහොත් ජල මට්ටම් තවදුරටත් පහළ යා හැකි බැවින් ජලය සහ විදුලිය පරිස්සමින් භාවිත කරන ලෙස බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.













