අද (08) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉහළම අගයක් වාර්තා කරමින් දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කළේය. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 885.14 කින් (එනම් 4.21% කින්) ඉහළ ගොස් දින අවසානයේදී ඒකක 21,917.60 ක් ලෙස සටහන් විය.
වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 6.61 ක් ලෙස වාර්තා වූ අතර, මෙය ආයෝජකයින්ගේ ඉහළ සහභාගීත්වය සහ වෙළෙඳපොළ කෙරෙහි පවතින විශ්වාසය මැනවින් පිළිඹිබු කරයි. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ ඇති වූ සටන් විරාම ප්‍රකාශයත් සමඟ ගෝලීය වශයෙන් ඇති වූ සුබවාදී තත්ත්වය සහ දේශීය වශයෙන් ආර්ථිකය ස්ථාවර වනු ඇතැයි පවතින බලාපොරොත්තුව මෙම ඉහළ යාමට ප්‍රධානතම හේතු වී තිබේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ දත්තවලට අනුව, අද දිනයේ වාර්තා වූ මෙම ක්‍රියාකාරීත්වය මෑත කාලීනව එක් දිනක් තුළ වාර්තා වූ ශක්තිමත්ම වෙළෙඳපොළ වර්ධනයන්ගෙන් එකක් ලෙස සැලකේ.















