චෙක් රාජ්‍යයේ ඔප්ටික්ස් (Optics) සහ ඩ්‍රෝන නිෂ්පාදන කර්මාන්තශාලාවකට පසුගිය මාසයේදී එල්ල වූ ගිනි තැබීමේ ප්‍රහාරය සම්බන්ධයෙන් තුන්වන සැකකරු ද අත්අඩංගුවට ගත් බව පෝලන්ත බලධාරීන් අද (08) ප්‍රකාශ කළේය.
ප්‍රාග් නුවරට නැගෙනහිරින් පිහිටි පාර්ඩුබිස් (Pardubice) හි පිහිටි LPP සමාගමට අයත් මෙම කර්මාන්තශාලාවට පසුගිය මාර්තු 20 වැනිදා එල්ල වූ ප්‍රහාරයෙන් ඩොලර් මිලියන ගණනක දේපළ හානි සිදු විය. මෙම ප්‍රහාරයේ වගකීම මීට පෙර හඳුනා නොගත් පලස්තීන හිතවාදී ක්‍රියාකාරී කණ්ඩායමක් විසින් භාරගෙන තිබුණි.
පෝලන්ත අභ්‍යන්තර ආරක්ෂක ඒජන්සිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෝලන්ත ජාතික 23 හැවිරිදි තරුණයෙකි. වෝර්සෝ ප්‍රාදේශීය අධිකරණය විසින් ඔහුව මාස තුනක කාලයක් සඳහා තාවකාලිකව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෝලන්තය, ස්ලෝවැකියාව සහ චෙක් රාජ්‍යය මීට පෙර ද පෝලන්ත, චෙක්, ඊජිප්තු සහ ඇමරිකානු ජාතික සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
LPP සමාගම 2023 වසරේදී ඊශ්‍රායලයේ Elbit Systems ආරක්ෂක කණ්ඩායම සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සැලසුම් කර තිබූ නමුත්, එම සැලසුම් ක්‍රියාත්මක නොවූ බව සමාගම අවධාරණය කරයි. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය එම ඊශ්‍රායල සබඳතාවය ඉලක්ක කරගෙන සිදු වූවක් බවට සැක කෙරේ.













