ඇමරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සති දෙකක සටන් විරාමය යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි මහතා විසින් අද (08) සාදරයෙන් පිළිගනු ලැබීය. මොස්කව් පරිපාලනය සිය ප්‍රහාර නතර කරන්නේ නම්, යුක්‍රේනය ද ඒ හා සමානව ප්‍රතිචාර දැක්වීමට (Respond in kind) සූදානම් බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.
“යුක්‍රේනය සැමවිටම ඉල්ලා සිටියේ රුසියාව අපේ රටට සහ ජනතාවට එරෙහිව ගෙන යන යුද්ධය නතර කරන ලෙසයි. මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ ඇති වූ මෙම සටන් විරාමය රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් සඳහා මාවත විවර කරන්නක්,” යනුවෙන් සෙලෙන්ස්කි මහතා සිය X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේය. ඕනෑම එකඟතාවයකට එළඹීමට පෙර නිසි සටන් විරාමයක් පැවතීම අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියක් බව ද ඔහු පෙන්වා දුන්නේය.
මීට පෙර, යුක්‍රේනයට එරෙහි ප්‍රහාර සඳහා රුසියාවට ඩ්‍රෝන යානා දහස් ගණනින් සැපයූ ඉරානයට එරෙහිව ඇමරිකාව ගත් දැඩි ක්‍රියාමාර්ග යුක්‍රේනය විසින් අගය කර තිබුණි. වසර හතරක් පුරා පවතින මෙම යුද්ධය අවසන් කර සාම ගිවිසුමකට එළඹීම සඳහා රුසියාව සම්පූර්ණ සටන් විරාමයකට එකඟ විය යුතු බව කියෙව් (Kyiv) පාලනය දිගින් දිගටම අවධාරණය කරයි. කෙසේ වෙතත්, රුසියාව පවසන්නේ සටන් නතර කිරීමට පෙර සාමය සඳහා වන සවිස්තරාත්මක කොන්දේසිවලට දෙපාර්ශවයම එකඟ විය යුතු බවයි.













