ශ්‍රී ලංකාවේ ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන පාත්ෆයින්ඩර් පදනම (Pathfinder Foundation) සහ නව දිල්ලිය කේන්ද්‍ර කරගත් ‘Organisation for Research on China and Asia’ (ORCA) ආයතනය අතර සහයෝගීතාව සඳහා වන අවබෝධතා ගිවිසුමකට (MoU) අද (08) අත්සන් තබන ලදී.
2008 වසරේදී ආරම්භ කරන ලද පාත්ෆයින්ඩර් පදනම, ආර්ථික ප්‍රතිසංස්කරණ, උපායමාර්ගික කටයුතු සහ සාගර අධ්‍යයනය පිළිබඳ පර්යේෂණ මෙහෙයවන ප්‍රමුඛ පෙළේ ආයතනයකි. ORCA ආයතනය චීනය සහ ආසියානු කලාපයේ භූ දේශපාලනය සහ භූ ආර්ථික විද්‍යාව පිළිබඳ පර්යේෂණ සිදු කරන ඉන්දීය විද්වත් මණ්ඩලයකි.
මෙම නව සහයෝගීතාව හරහා ජාත්‍යන්තර සබඳතා සහ චීන අධ්‍යයන ක්ෂේත්‍රයේ ඒකාබද්ධ පර්යේෂණ සිදු කිරීමටත්, විද්වත් සාකච්ඡා සහ සම්මන්ත්‍රණ සංවිධානය කිරීමටත් අපේක්ෂා කෙරේ. පාත්ෆයින්ඩර් පදනම මේ වන විටත් ඉන්දියාවේ සහ චීනයේ පර්යේෂණ ආයතන රැසක් සමඟ සමීප සබඳතා පවත්වයි.
ORCA අධ්‍යක්ෂ ඊරිෂිකා පන්කාජ් (Eerishika Pankaj) මහත්මිය සහ පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලද අතර, මෙය කලාපීය බුද්ධිමය සහයෝගීතාව ඉහළ නැංවීමට ගත් වැදගත් පියවරක් ලෙස සැලකේ.













