විදේශ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ මහා පරිමාණ ජාවාරම් දෙකක් වටලා පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය සමත් වී තිබේ. මහරගම ප්‍රදේශයේ “Global Educare Consultancy” නමින් වලංගු බලපත්‍රයකින් තොරව පවත්වාගෙන ගිය ආයතනයක් වැටලූ නිලධාරීන්, එහිදී ඇල්බේනියාවේ සහ කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ ප්‍රධාන සැකකාරියක අත්අඩංගුවට ගෙන ඇත. ඇය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.
මේ අතර මීරිගම ප්‍රදේශයේ “ASPA” නමින් වංචනික ආයතනයක් පවත්වාගෙන යමින් ජපානයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබාගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ද උපාය දූතයෙකු මාර්ගයෙන් කොටු කර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් විය. අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ මෙම සැකකරුවන්ගෙන් පළමු සැකකාරිය අප්‍රේල් 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර දෙවන සැකකරු ඇප මත මුදා හැරීමට අධිකරණය පියවර ගෙන තිබේ. විදේශ රැකියා සඳහා මුදල් ගෙවීමට පෙර එම ආයතනවල වලංගුභාවය පරීක්ෂා කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.













