මියන්මාර ජාතික හිමිනමකට අයත් අස්ථානගත වූ මුදල් සහ වටිනා ලියකියවිලි අඩංගු පසුම්බියක් නැවත භාරදීමට කටයුතු කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළෙකු සමාජයට උදාර ආදර්ශයක් ලබා දී තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන මියන්මාර ජාතික ඤානෝ ස්වාමීන් වහන්සේ පසුගිය 06 වැනිදා පිටකොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ බස් රථයක ගමන් කරමින් සිටියදී මෙම මුදල් පසුම්බිය අස්ථානගත වී ඇත. එහි රුපියල් 80,000ක මුදලක් සහ වැදගත් ලියකියවිලි රැසක් අඩංගු වී තිබූ බව වාර්තා වේ.
බස් රථයේ තිබී මෙම පසුම්බිය සොයාගෙන ඇත්තේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරන ලාන්ස් කෝප්‍රල් රත්නායක කේ.කේ.පී.කේ. විසිනි. පසුම්බිය සොයාගැනීමෙන් පසු ඔහු වහාම ගොඩගම පුරාණ විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොටිගල නන්දරතන නායක හිමියන් දැනුවත් කර තිබේ. අනතුරුව එම විහාරස්ථානයේදී අදාළ මියන්මාර හිමිනම සම්බන්ධ කරගෙන සියලු දේපළ සුරක්ෂිතව භාර දීමට ඔහු පියවර ගත්තේය.
මෙම යුද හමුදා සෙබළා ප්‍රදර්ශනය කළ අවංකභාවය සහ විනයගරුක බව විදේශීය හිමිනමගේ මෙන්ම විහාරාධිපති හිමියන්ගේ ද ඉහළ පැසසුමට ලක්විය. රටේ ගෞරවය ආරක්ෂා කරමින් සිදුකළ මෙම ක්‍රියාව සමස්ත සමාජයටම මනා ආදර්ශයක් බව ඔවුහු පෙන්වා දුන්හ.













