දේශීය කර්මාන්තකරුවන් සවිබල ගැන්වීම රජයේ ප්‍රමුඛතම අරමුණක් බවත්, රජයේ සැපයුම් ක්‍රියාවලියේදී දේශීය ව්‍යාපාරිකයන්ට ලබා දෙන අවස්ථා තවදුරටත් පුළුල් කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ලංකා එක්සත් ව්‍යාපාරිකයන්ගේ සන්ධානය (CUBA) සමඟ අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීය.
මැදපෙරදිග පවතින යුද වාතාවරණය හමුවේ දේශීය කර්මාන්ත මුහුණ දී ඇති අභියෝග සහ කර්මාන්තකරුවන්ගේ ගැටලුවලට ලබාදිය හැකි සාධනීය විසඳුම් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු විය. විශේෂයෙන් සෙස් බද්ද (CESS), මානව සම්පත් හිඟය සහ අනීතික ලෙස මෙරටට ගලා එන බාල තත්ත්වයේ භාණ්ඩ පාලනය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
බහාලුම් නිදහස් කර ගැනීමේදී සිදුවන ප්‍රමාදයන් මඟහරවා කාර්යක්ෂම සේවාවක් ලබාදීම පිළිබඳව අදාළ අංශ සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට තීරණය වූ අතර, ගුණාත්මකභාවයෙන් අඩු භාණ්ඩ වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීමට ආයතන කිහිපයක් ඒකාබද්ධව ක්‍රියාමාර්ග ගැනීමට ද එකඟතාව පළ විය.
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් මෙන්ම ලංකා එක්සත් ව්‍යාපාරිකයන්ගේ සන්ධානයේ සභාපතිනි ටානියා එස්. අබේසුන්දර මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.













