ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද බත්තරමුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී වර්තමාන රජයේ බලශක්ති අමාත්‍යවරයාට එල්ල වී ඇති ගල්අඟුරු වංචා චෝදනා සාධාරණීකරණය කිරීමට ජනාධිපතිවරයා මැදිහත් වීම දැඩි ලෙස විවේචනය කළේය. මෙය ජනාධිපතිවරයා සහ බලශක්ති අමාත්‍යවරයා එක්ව සිදුකළ “දෙමුහුන්” හෝ “ද්වී පුද්ගල” හොරකමක් ලෙස හැඳින්වූ ඒ මහතා, අමාත්‍යවරයෙකුගේ දූෂණ චෝදනා සේදීම සඳහා ජනාධිපතිවරයාම ඉදිරියට පැමිණීම නින්දිත පූර්වාදර්ශයක් බව ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ගල්අඟුරු ටෙන්ඩර් පටිපාටිය නිවැරදි යැයි පැවසුවද විගණකාධිපති වාර්තාව මගින් එම ප්‍රකාශය අසත්‍ය බව ඔප්පු වී ඇති බව වීරවංශ මහතා මෙහිදී පෙන්වා දුන්නේය. අදාළ ඉන්දියානු සමාගම සුදුසුකම් ලත් එකක් නොවන බවත්, ඔවුන්ට ටෙන්ඩරය ලබා දීම සඳහා පූර්ව පළපුරුද්ද මෙට්‍රික් ටොන් මිලියනයක සිට ලක්ෂ දෙක දක්වා අඩු කර ඇති බවත් විගණන වාර්තාවේ සඳහන් වන බව ඔහු හෙළි කළේය. එසේම වැට් ලියාපදිංචියක් පවා නොමැති සමාගමකට මෙවැනි මහා පරිමාණ ටෙන්ඩරයක් ලබා දීම පිටුපස විශාල දූෂණයක් පවතින බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
ගල්අඟුරු ප්‍රමිතිය පිළිබඳව ජනාධිපතිවරයා කළ “කාලා බලන්නද” යන ප්‍රකාශයට ද වීරවංශ මහතා මෙහිදී පිළිතුරු ලබා දුන්නේය. රටක නායකයෙකු ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයකදී එවැනි සැහැල්ලු ප්‍රකාශ නිකුත් කිරීම නොගැලපෙන බවත්, ගල්අඟුරු ප්‍රමිතිය පරීක්ෂා කිරීමට ඇති “අම්පයර් සාම්පල්” පද්ධතිය මෙතෙක් ආ කිසිදු නැවකට ක්‍රියාත්මක කර නොමැති බවත් ඔහු චෝදනා කළේය. කොමිස් මුදල් වෙනුවෙන් මෙම වංචාව වසා ගැනීමට රජය උත්සාහ කරන බව ඔහු අවසාන වශයෙන් සඳහන් කළේය.













