මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් ඉහළ දැමූ ඉන්ධන මිල, ප්‍රකාශයට පත් කර ඇති සති දෙකක සටන් විරාමය සැලකිල්ලට ගෙන වහාම අඩු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටී.
අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 95 දක්වා පහත වැටී ඇති බවයි. මෙම තත්ත්වය සලකා බලා අද මධ්‍යම රාත්‍රියේ සිට හෝ හෙට දිනය ඇතුළත ඉන්ධන මිල අඩු කිරීමට රජය පියවර ගත යුතු බව ඔහු අවධාරණය කළේය.
එමෙන්ම, මෙම සති දෙකක සටන් විරාම කාලය තුළ ගෑස්, ඉන්ධන, පොහොර සහ ඖෂධ සැපයුම් දාමය ශක්තිමත් කිරීමට රජය කඩිනම් පියවර ගත යුතු බව ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














