ලෙබනනය තුළ ඊශ්‍රායලය සිදු කරන ප්‍රහාර සහ සටන් විරාම කොන්දේසි උල්ලංඝනය කිරීමට එරෙහිව ඉරානය දැඩි ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වන බව ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ. මැදපෙරදිග පුවත් සේවය (MES) උපුටා දක්වමින් වාර්තා වන්නේ, මෙම සටන් විරාම ගිවිසුම සමස්ත කලාපයටම අදාළ වන්නක් බවත්, ඊශ්‍රායලය දැනුවත්වම සිය පොරොන්දු කඩ කරමින් සිටින බවත් ඉරානය චෝදනා කරන බවයි. ලෙබනනය තුළ ඊශ්‍රායලය සිදු කළ “අපරාධවලට” නිසි දඬුවම් ලබා දෙන බව පවසන එම නිලධාරියා, ඊශ්‍රායලය මෙල්ල කළ හැක්කේ “උණ්ඩවලින් පමණක්” (Only bullets will deter it) බවට අතිශය බිහිසුණු අනතුරු ඇඟවීමක් ද සිදු කර ඇත.
මෙම ප්‍රකාශයත් සමඟ අමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සති දෙකක සටන් විරාමය ප්‍රායෝගිකව අක්‍රීය වීමේ තර්ජනයක් මතුව ඇති අතර, කලාපය පුරා නැවතත් මහා පරිමාණ යුද්ධයක සේයා මතු වෙමින් පවතී. ජනාධිපති ට්‍රම්ප් විසින් ලෙබනනය මෙම ගිවිසුමට ඇතුළත් නොවන බව ප්‍රකාශ කිරීමත්, ඊශ්‍රායලය විසින් ලෙබනනයට අඛණ්ඩව බෝම්බ හෙලීමත් හමුවේ ඉරානය සිය ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති බව පෙනෙන්නට තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය ආරම්භ වී සුළු වේලාවකට පසු නිකුත් වූ මෙම ප්‍රකාශය හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපොළ සහ රක්ෂණ සමාගම් නැවතත් දැඩි අවධානයෙන් පසුවෙයි.
ඉරානයේ මෙම ස්ථාවරය හමුවේ පාකිස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ සාම සාකච්ඡා ද අවිනිශ්චිත වී ඇති අතර, ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාර දියත් කිරීමට සූදානම් වන ලෙස දැනටමත් නියෝග ලබා දී ඇති බව වාර්තා වේ. සටන් විරාමයක් පවතින බව ප්‍රකාශ වුවද, භූමියේ පවතින සැබෑ තත්ත්වය යුද බිමකට නොදෙවැනි වන අතර, ඉදිරි පැය කිහිපය තුළ ඉරානය සිය “දඬුවම් පැමිණවීම” ආරම්භ කළහොත් එය වත්මන් ලෝක දේශපාලනයේ සහ ආර්ථිකයේ දරුණුතම කඩාවැටීමට මග පාදනු ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති.














