උතුරු කොරියාව විසින් ක්ලස්ටර් බෝම්බ (Cluster-bomb) සහිත බැලැස්ටික් මිසයිලයක් සහ ඉලෙක්ට්‍රොනික යුද ශිල්පීය ක්‍රම සඳහා භාවිත කළ හැකි විද්‍යුත් චුම්බක (Electromagnetic) අවියක් ඇතුළු නවීන අවි පද්ධති කිහිපයක් මෙම සතියේදී අත්හදා බැලූ බව එරට නිල පුවත් සේවය වන KCNA වාර්තා කරයි. මීට අමතරව කාබන් ෆයිබර් බෝම්බ සහ ජංගම කෙටි දුර ගුවන් නාශක මිසයිල පද්ධතියක් ද මෙහිදී පරීක්ෂාවට ලක් කර ඇති අතර, මෙය නූතන යුද අවශ්‍යතාවලට ගැළපෙන පරිදි උතුරු කොරියානු හමුදාව සතු ශක්තිය ප්‍රදර්ශනය කිරීමක් ලෙස විචාරකයෝ පෙන්වා දෙති.
මෙම අත්හදා බැලීම් අධීක්ෂණය කළ ජෙනරාල් කිම් ජොන්ග් සික් ප්‍රකාශ කර ඇත්තේ විද්‍යුත් චුම්බක අවි පද්ධති සහ කාබන් ෆයිබර් බෝම්බ උතුරු කොරියානු හමුදාව සතු සුවිශේෂී සම්පත් බවයි. දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් ද තහවුරු කර ඇත්තේ පසුගිය දින කිහිපය පුරා උතුරු කොරියාව මිසයිල කිහිපයක් අත්හදා බලා ඇති බවයි. මෙම නව අවි පද්ධති දකුණු කොරියාවේ ආරක්ෂක පද්ධතිවලට තර්ජනයක් විය හැකි බවත්, කලාපීය ආරක්ෂාව තවදුරටත් සංකීර්ණ වනු ඇති බවත් ආරක්ෂක විශේෂඥයෝ අනතුරු අඟවති.
මෙම අත්හදා බැලීම් සිදුවන්නේ චීන විදේශ අමාත්‍ය වෑන්ග් යී (Wang Yi) මහතා දෙදින සංචාරයක් සඳහා අද (අප්‍රේල් 09) උතුරු කොරියාවට පැමිණීමට නියමිත පසුබිමක වීම විශේෂත්වයකි. එමෙන්ම, මැයි මස මැද භාගයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අතර ඉහළ පෙළේ සාකච්ඡාවක් පැවැත්වීමේ හැකියාවක් පිළිබඳව ද මේ වන විට ජාත්‍යන්තර දේශපාලන කරළියේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.














