ඇමරිකානු හමුදාවේ සේවය කළ 40 හැවිරිදි හිටපු නිලධාරිනියක වන කෝට්නි විලියම්ස් (Courtney Williams), එරට රහසිගත හමුදා ඒකකයක තොරතුරු මාධ්‍යවේදියෙකු වෙත ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ. ඇමරිකානු යුක්ති දෙපාර්තමේන්තුවට අනුව, උතුරු කැරොලිනා ප්‍රාන්තයේ පදිංචිකාරියක වන ඇයට එරෙහිව “ඔත්තු බැලීමේ පනත” (Espionage Act) යටතේ මෙලෙස අධිචෝදනා ගොනු කර ඇත.
කෝට්නි විලියම්ස් 2010 සිට 2016 දක්වා කාලය තුළ උතුරු කැරොලිනාහි ෆෝට් බ්‍රැග් (Fort Bragg) හමුදා කඳවුරේ ‘ඩෙල්ටා ෆෝස්’ (Delta Force) නම් අතිශය රහසිගත ඒකකයේ සේවය කර තිබේ. ඇය විසින් ලබාදුන් තොරතුරු පදනම් කරගනිමින් මාධ්‍යවේදී සෙත් හාප් (Seth Harp) විසින් පසුගිය වසරේ “The Fort Bragg Cartel” නමින් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කරන ලදී. එම ග්‍රන්ථය මගින් අදාළ හමුදා ඒකකය තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම්, මනුෂ්‍ය ඝාතන සහ දූෂණ ක්‍රියා පිළිබඳව බරපතල අනාවරණයන් සිදු කර තිබුණි.
පැමිණිල්ලට අනුව, 2022 සහ 2025 අතර කාලය තුළ විලියම්ස් සහ අදාළ මාධ්‍යවේදියා පැය 10 කට අධික දුරකථන සංවාද පවත්වා ඇති අතර පණිවිඩ 180 කට වඩා හුවමාරු කරගෙන තිබේ. ප්‍රකාශයට පත් වූ ලිපිවල සහ පොතේ සඳහන් ඇතැම් කරුණු ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන “අතිශය රහසිගත” (Classified) තොරතුරු බව බලධාරීහු පවසති. කෙසේ වෙතත්, මාධ්‍යවේදී සෙත් හාප් පවසන්නේ ඇය හමුදාව තුළ සිදුවන ස්ත්‍රී පුරුෂ භේදය සහ ලිංගික හිංසනයන් හෙළිදරව් කළ නිර්භීත තොරතුරු හෙළි කරන්නියක (Whistleblower) බවයි. ඇයව අත්අඩංගුවට ගැනීම රජය විසින් සිදු කළ පළිගැනීමක් බවට ද ඔහු චෝදනා කරයි.
අත්අඩංගුවට ගැනීමෙන් පසු විලියම්ස් සිය මව වෙත යොමු කළ පණිවිඩයක සඳහන් කර ඇත්තේ, රහසිගත තොරතුරු හෙළි කිරීම සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට පත්වීමට ඉඩ ඇති බව තමන් දැන සිටි බවයි. මෙම නඩුව වත්මන් ට්‍රම්ප් පාලනාධිකාරිය මාධ්‍ය වෙත තොරතුරු ලබාදෙන රජයේ සේවකයින් කෙරෙහි දක්වන දැඩි පිළිවෙත පිලිබඳව විවිධ කතාබහට ලක්ව තිබේ. වරදකරු වුවහොත් ඇයට වසර ගණනාවක සිරදඬුවම් හිමිවීමට ඉඩ ඇත.














