ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුධමය ක්‍රියාවලිය විවේචනය කරමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිදුකළ ප්‍රකාශය, ඉරානයේ හිටපු ශ්‍රී ලංකා තානාපති එම්. එම්. සුහයිර් මහතාගේ පැසසුමට ලක්ව තිබේ. පසුගිය පාස්කු මධ්‍යම රාත්‍රී දේව මෙහෙයේදී කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළේ මුළු මහත් මනුෂ්‍ය සංහතියම අද වේදනාවට පත්ව ඇත්තේ ලෝකයම පාලනය කිරීමට උත්සාහ කරන එක් මිනිසෙකුගේ ලෝභකම නිසා බවයි.
අසල්වැසියන් විනාශ කරමින් බෝම්බ වර්ෂා වස්වන නායකයෙකුට ‘ක්‍රිස්තියානි’ යන නාමය භාවිතා කළ නොහැකි බවත්, සැබෑ ක්‍රිස්තියානීන් තම අසල්වැසියාට ප්‍රේම කරන බවත් උන්වහන්සේ එහිදී අවධාරණය කළහ. ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) බයිබලයේ පාඨ වැරදියට අර්ථකථනය කරමින් යුද්ධය සඳහා ආගමික මුහුණුවරක් දීමට උත්සාහ කරන පසුබිමක, කාදිනල් හිමිපාණන්ගේ මෙම මැදිහත්වීම කාලීන මෙන්ම නිර්භීත ක්‍රියාවක් බව සුහයිර් මහතා පවසයි.
විශේෂයෙන්ම ඉරානය සහ ඇමරිකාව අතර පාකිස්ථානයේ මැදිහත් වීමෙන් තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක, මෙවැනි ප්‍රකාශ මගින් සාමය සඳහා වන බලපෑම ශක්තිමත් වන බව හිටපු තානාපතිවරයා පෙන්වා දෙයි. අනෙකුත් ආගමික හා සිවිල් සංවිධාන මේ සම්බන්ධයෙන් නිහඬව සිටියදී කාදිනල් හිමිපාණන් සෘජුව අදහස් දැක්වීම අගය කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


















