Ubuntu මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වන Ubuntu 26.04 LTS සඳහා අවශ්‍ය අවම මතක ධාරිතාව (RAM) 4 GB සිට 6 GB දක්වා සියයට 50කින් ඉහළ නැංවීමට Canonical ආයතනය පියවර ගෙන තිබේ. කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව සිදුකර ඇති මෙම වෙනස්කමට අනුව, නව අවම පිරිවිතරයන් ලෙස 2 GHz Dual-core CPU එකක් සහ 25 GB ගබඩා ඉඩක් ද නම් කර ඇත.
ලොව පුරා පවතින මතක චිප් (Memory chips) හිඟය සහ ඒවායේ මිල ඉහළ යමින් පවතින වකවානුවක මෙම තීරණය ගැනීම විශේෂත්වයකි. මින් පෙර 4 GB RAM සහිත පැරණි පරිගණකවල Ubuntu භාවිත කළ පරිශීලකයන්ට මෙමඟින් යම් බලපෑමක් එල්ල වනු ඇතැයි ‘RAMpocalypse’ ලෙස මෙය හඳුන්වමින් විචාරකයෝ පවසති. කෙසේ වෙතත්, මෙය මෙහෙයුම් පද්ධතියේ බර වැඩිවීමක් නොව, නූතන වෙබ් බ්‍රව්සර් සහ මෘදුකාංග සුමටව ක්‍රියාත්මක වීමට 4 GB ප්‍රමාණවත් නොවන නිසා ගත් “අවංක පියවරක්” බව තාක්ෂණික අංශ පෙන්වා දෙයි.
ඔබගේ පරිගණකයේ 6 GB RAM නොමැති වුවද Ubuntu 26.04 ස්ථාපනය කළ හැකි නමුත්, එහි වේගය ඉතා අඩු විය හැක. අඩු පිරිවිතර සහිත පරිගණක භාවිත කරන අය සඳහා Lubuntu වැනි සැහැල්ලු මෙහෙයුම් පද්ධති (1 GB RAM ප්‍රමාණවත් වේ) භාවිත කරන ලෙස උපදෙස් දෙනු ලැබේ. Ubuntu අවම RAM අවශ්‍යතාවක් ඉහළ දැමූ දෙවන අවස්ථාව මෙය වන අතර, මීට පෙර 2018 වසරේදී එය 1 GB සිට 4 GB දක්වා ඉහළ නංවන ලදී.














