2012 වසරට පෙර නිකුත් කරන ලද පැරණි Kindle මාදිලි සඳහා ලබාදෙන සහය එළඹෙන මැයි 20 වනදා සිට නවතා දැමීමට Amazon සමාගම තීරණය කර තිබේ. මෙම තීරණයත් සමඟ එම උපාංග භාවිත කරන්නන් හට නව පොත් මිලදී ගැනීමට හෝ බාගත කිරීමට (Download) ඇති හැකියාව අහිමි වන නමුත්, දැනටමත් උපාංගයේ ගබඩා කර ඇති පොත් කියවීමට බාධාවක් සිදු නොවන බව වාර්තා වේ.
Kindle 1 සහ 2 පරම්පරා, Kindle DX, Kindle Keyboard, Kindle 4 සහ 5, මෙන්ම පළමු පරම්පරාවේ Kindle Paperwhite වැනි මාදිලි රැසකට මෙම තීරණය බලපානු ඇත. කිසිදු දෝෂයකින් තොරව තවමත් හොඳින් ක්‍රියාකරන උපාංග මෙලෙස අත්හැර දැමීමට ගත් තීරණය පිළිබඳව ලොව පුරා Kindle පරිශීලකයන් සිය විරෝධය පළ කරමින් සිටිති. ස්මාර්ට් දුරකථන මෙන් නොව, විද්‍යුත් පොත් කියවන මෙවැනි උපාංග සඳහා නිරන්තරයෙන් ඉහළ තාක්ෂණික යාවත්කාලීනයන් අවශ්‍ය නොවන බවත්, මෙය අනවශ්‍ය ලෙස විද්‍යුත් අපද්‍රව්‍ය (E-waste) නිර්මාණය කිරීමක් බවත් විචාරකයෝ පවසති.
කෙසේ වෙතත්, Amazon පද්ධතියෙන් බැහැරව පරිගණකයක් හරහා කෙලින්ම ගොනු ඇතුළත් කිරීම (Sideloading) වැනි ක්‍රම මඟින් තවදුරටත් මෙම උපාංග භාවිත කිරීමට පරිශීලකයන් උත්සාහ කරමින් සිටියද, මැයි 20න් පසු එම ක්‍රමවේදයන් කෙතරම් දුරට සාර්ථක වේද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැත.














