SK Innovation E&S සමාගම 2022 වසරේදී සිදුවූ දරුණු සයිබර් ප්‍රහාරයක් සහ ඒ හරහා සිදුවූ දත්ත කාන්දුවක් වසර හතරකට ආසන්න කාලයක් රජයේ ආරක්ෂක අංශවලට වාර්තා නොකර සඟවා තබා ඇති බවට බරපතල චෝදනාවක් එල්ල වී තිබේ. දකුණු කොරියානු පාර්ලිමේන්තු මන්ත්‍රී මින් හී-හී (Min Hee-hee) ගේ කාර්යාලය විසින් අනාවරණය කරන ලද තොරතුරුවලට අනුව මෙම දත්ත සොරකම සිදුව ඇත්තේ 2022 සැප්තැම්බර් 30 වනදාය.
මෙම ප්‍රහාරය හරහා අභ්‍යන්තර ගිණුම් තොරතුරු 13GB ක් සහ ඊමේල් ඇතුළු තවත් දත්ත 2GB ක් ලෙස මුළු දත්ත 15GB ක් සොරකම් කර ඇති බව තහවුරු වී ඇත. වත්මන් තොරතුරු සහ සන්නිවේදන ජාල පනතට අනුව දත්ත සොරකමක් පිළිබඳව දැනගත් වහාම පැය 24ක් ඇතුළත රජයට වාර්තා කළ යුතු වුවත්, මෙම සමාගම එය වාර්තා කර ඇත්තේ මෙම වසරේ (2026) මාර්තු 26 වනදාය.
පරීක්ෂණ පවත්වන බලධාරීන් පවසන්නේ හක් කරන ලද සර්වර් (Servers) බොහොමයක් විනාශ කර ඇති බව හෝ ඒවායේ දත්ත මැකී ඇති බවයි. මෙය සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීමට විශාල බාධාවක් වී තිබේ. ආරක්ෂක යාවත්කාලීනයන් සිදු නොකළ යල් පැන ගිය සර්වර් පද්ධතියක් භාවිත කිරීම මෙම ප්‍රහාරයට ප්‍රධාන හේතුව වී ඇති අතර, පෞද්ගලික අංශය යටතේ පවතින මෙවැනි ජාතික වැදගත්කමකින් යුත් ආයතනවල ආරක්ෂාව පිළිබඳව රජය මීට වඩා දැඩි අවධානයක් යොමු කළ යුතු බව මන්ත්‍රී මින් හී-හී වැඩිදුරටත් අවධාරණය කරයි.














