පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම්වලට අදාළ ගැටලුවක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (09) පෙරවරු 8.00 සිට පැය 48ක දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයිනේ බොහෝ රෝහල්වල බාහිර රෝගී අංශයේ කටයුතු අඩාල වී ඇති අතර, සායනික ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වේ. වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් අසරණ රෝගීන්ගේ ජීවිත බිල්ලට දීම අසාධාරණ බව පවසමින් රෝහල් කරා පැමිණි ජනතාව සිය දැඩි විරෝධය පළ කරති.
වර්ජනය ක්‍රියාත්මක වුවද, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අයත් නොවන වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් සේවයට වාර්තා කරමින් රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යන ආකාරය දක්නට ලැබුණි. හිඟුරක්ගොඩ සහ දික්ඔය මූලික රෝහල් ඇතුළු රෝහල් කිහිපයකම ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට ඇතැම් වෛද්‍යවරුන් පියවර ගෙන තිබේ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥාණසේකරම් මහතා අවධාරණය කළේ තම සංගමයේ වෛද්‍යවරුන් මෙම වර්ජනයට කිසිසේත් සහාය නොදක්වන බවයි.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තුළම මෙම වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ. පසුගිය සතියේ දින කිහිපයක් ද වර්ජනයක නිරත වීම නිසා රෝගීන් පීඩාවට පත්ව සිටි පසුබිමක, යළිත් මෙවැනි ක්‍රියාවක නිරත වීම සාධාරණ නොවන බව එම සංගමයේම ඇතැම් වෛද්‍යවරුන් පෙන්වා දෙයි. වෘත්තීය සමිති දේශපාලනය වෙනුවෙන් රෝගීන්ගේ ජීවත්වීමේ අයිතිය අහිමි නොකළ යුතු බවට වන සමාජ කතිකාවතක් ද මේ වන විට නිර්මාණය වී තිබේ.














