එළඹෙන නිරිත දිග මෝසම් කාලසීමාවේදී එල්-නිනෝ (El-Nino) තත්ත්වයක් ඇතිවුවහොත්, එළැඹෙන සැප්තැම්බර් මාසය දක්වාම දිවයින පුරා දැඩි නියං කාලයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (09) විශේෂ අනාවරණයක් කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ මහතා සඳහන් කළේ, දැනට පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය මැයි මාසයේ තෙවන සතිය දක්වාම අඩු වැඩි වෙමින් පැවතිය හැකි බවයි.
නිරිත දිග මෝසම් සුළං මැයි මස 20 වනදායින් පසුව ආරම්භ වීමත් සමඟ දැනට පවතින අධික උණුසුම යම් ප්‍රමාණයකට පහව යනු ඇතැයි අපේක්ෂා කළ ද, එල්-නිනෝ බලපෑම හේතුවෙන් ජූනි, ජූලි සහ අගෝස්තු යන මාසවලදී වර්ෂාපතනය බෙහෙවින් අඩු විය හැකි බව කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙයි. මෙම තත්ත්වය හමුවේ පානීය ජල පරිභෝජනය මෙන්ම කෘෂිකාර්මික හා වාරි මාර්ග කටයුතුවලදී ජලය අතිශය අරපිරිමැස්මෙන් කළමනාකරණය කිරීමට සියලු අංශ වගබලා ගත යුතු බවට ද එහිදී දැඩි අවධාරණයක් කෙරුණි.














