රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුම් මෙන්ම වර්තමාන ඉරාන යුද වාතාවරණය පෝලන්තය දක්වා ව්‍යාප්ත වීමේ අවදානම සැලකිල්ලට ගනිමින්, එරට කතෝලික පල්ලි හදිසි සහන මධ්‍යස්ථාන ලෙස සකස් කිරීමට පෝලන්ත රදගුරු මණ්ඩලය පියවර ගෙන තිබේ. පෝලන්ත රදගුරු මණ්ඩලයේ සභාපති අගරදගුරු ටඩියුස් වොජ්ඩා (Tadeusz Wojda) ප්‍රකාශ කළේ, ඕනෑම අර්බුදයකදී පෝලන්ත ජනතාව පළමුව සහාය පතා පැමිණෙන්නේ පල්ලිය වෙත බැවින් මෙම පූර්ව සූදානම අත්‍යවශ්‍ය බවයි.
මෙම වැඩපිළිවෙළ යටතේ රජය සහ පල්ලිය ඒකාබද්ධව කටයුතු කිරීමට එකඟ වී ඇති අතර, හදිසි අවස්ථාවකදී පල්ලි වෙත විදුලි ජනක යන්ත්‍ර, ජලය, ඖෂධ සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය සැපයීමට රජය පොරොන්දු වී ඇත. පෝලන්ත ආරක්ෂක අමාත්‍ය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පසුගිය මාර්තු 10 වනදා රදගුරුවරුන් සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී, දේශීය ආරක්ෂාව ශක්තිමත් කිරීමේ ප්‍රධාන කුළුණක් ලෙස පල්ලිය හඳුන්වා දී තිබේ.
යුද්ධයක් හෝ ස්වභාවික ව්‍යසනයක් වැනි ඕනෑම හදිසි තත්ත්වයකදී සිවිල් වැසියන්ට අවශ්‍ය රැකවරණය සහ සහාය ලබා දීම සඳහා පල්ලිය සතු යටිතල පහසුකම් උපයෝගී කර ගැනීම මෙහි මූලික අරමුණයි. පෝලන්තය මුහුණ දී ඇති මෙම භූ-දේශපාලනික තර්ජන හමුවේ රජය සහ ආගමික ආයතන එක්ව මෙවැනි ආරක්ෂක පියවරක් ගැනීම ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.














