පසුගිය මාර්තු 31 වනදා විදුලි ගාස්තු 10%කින් ඉහළ නැංවීමට මහජන උපයෝගිතා කොමිසම අවසර දී සතියක් ගතවීමටත් පෙර, අප්‍රේල් සිට ජූනි දක්වා දෙවන කාර්තුව සඳහා යළිත් 15%ක ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය බවට නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම ඉල්ලීමක් කර තිබේ. විදුලි ජනනය සඳහා වැයවන රුපියල් බිලියන 16ක අතිරේක පිරිවැයක් පියවා ගැනීම මෙම ඉල්ලීමට හේතුව ලෙස දක්වා ඇති අතර, පවතින වියළි කාලගුණය, මැදපෙරදිග යුද වාතාවරණය නිසා ඇතිවූ දැවිතෙල් හිඟය සහ ගල් අඟුරු බලාගාරවලින් අපේක්ෂිත ධාරිතාව ජනනය නොවීම හේතුවෙන් ඩීසල් බලාගාර මත වැඩිපුර යැපීමට සිදුවීම මීට ප්‍රධාන හේතු ලෙස ඉදිරිපත් කර ඇත.
මේ අතර, විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති විදුලිබල අමාත්‍යවරයාට එරෙහිව බරපතළ චෝදනාවක් එල්ල කරයි. ඔවුන් පවසන්නේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් විදුලි ඉංජිනේරුවන්ට අමාත්‍යවරයා විසින් “කප්පම්” මුදල් ලබා දෙමින් සිටින බවයි. බලාගාරයේ පවතින අර්බුදකාරී තත්ත්වය සහ පද්ධතියේ පිරිවැය කළමනාකරණය කිරීමට අපොහොසත් වීම වසන් කරමින් ජනතාව මත අධික විදුලි බිලක් පැටවීමට රජය උත්සාහ කරන බවට වෘත්තීය සමිති නායකයෝ වැඩිදුරටත් චෝදනා කරති.














