සිවිල් සංවිධාන සහ එරට ඉහළම අධිකරණ නියාමන ආයතනවල විරෝධය නොතකා රුමේනියානු ජනාධිපති නිකුසෝර් ඩාන් (Nicusor Dan) විසින් ප්‍රධාන අභිචෝදකයින් සහ නියෝජිතයින් හත් දෙනෙකු පත් කර තිබේ. යුරෝපා සංගමයේ දූෂිතම රටවලින් එකක් ලෙස සැලකෙන රුමේනියාවේ මෙම පියවර, එරට දූෂණයට එරෙහි සටන දුර්වල කරනු ඇතැයි විචාරකයෝ අනතුරු අඟවති.
මෙම පත්වීම් අතර වඩාත්ම ආන්දෝලනාත්මක වී ඇත්තේ ක්‍රිස්ටිනා චිරියාක් (Cristina Chiriac) නීතිපතිවරිය ලෙස පත් කිරීමයි. ලිංගික අපයෝජනයකට වරදකරු වූ බිෂොප්වරයෙකුට අදාළ සාක්ෂි ඇය විසින් සඟවා ඇති බවට සිවිල් සංවිධාන සහ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් චෝදනා කරන නමුත් ඇය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. මීට අමතරව දූෂණ මර්දන ඒකකයේ (DNA) ප්‍රධානියා ලෙස විොරෙල් සර්බු සහ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ (DIICOT) ප්‍රධානියා ලෙස කොඩ්රින් මිරෝන් පත් කර ඇත.
2023 වසරේ සිට අධිකරණ පද්ධතියේ විශේෂ අධීක්ෂණය ඉවත් කිරීමත් සමඟ දූෂණ විමර්ශන මන්දගාමී වී ඇති බවට චෝදනා එල්ල වන පසුබිමක, මෙම පත්වීම් පිළිබඳව බ්‍රසල්ස් බලධාරීන් ද අවධානයෙන් පසුවේ. කෙසේ වෙතත්, ජනාධිපති ඩාන් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, ඉහළ මට්ටමේ මෙන්ම එදිනෙදා සිදුවන දූෂණ කටයුතු සම්බන්ධයෙන් විමර්ශන වේගවත් කර ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන ලෙස තමන් නව නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.














