දැනට පවතින අධි ආරක්ෂිත කලාප සීමා පිළිබඳව නැවත පරීක්ෂා කර බලා, වර්තමාන ආරක්ෂක අවශ්‍යතාවලට අනුව එම සීමා යාවත්කාලීන කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී තිබේ. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ පසුගිය 07 වනදා පාර්ලිමේන්තුවේදී පැවති ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේ මුලසුන දරමිනි. අධි ආරක්ෂිත කලාප යනු ස්ථාවර සීමා නොවන බවත්, පවතින ආරක්ෂක තත්ත්වයන් සලකා බලා ඒවා වෙනස් කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ආරක්ෂක අංශ භාරයේ පවතින ජනතාවගේ පෞද්ගලික ඉඩම් නැවත ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපතිවරයා මෙහිදී යළිත් තහවුරු කළේය. ඒ අනුව, නැවත ලබාදිය හැකි ඉඩම් කඩිනමින් නිදහස් කිරීමටත්, ආරක්ෂක හේතූන් මත එලෙස ලබාදීමට අපහසු ඉඩම් සඳහා සාධාරණ වන්දි මුදලක් ගෙවීමටත් පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලැබුණි. මීට අමතරව, රජයේ ආර්ථික සංවර්ධන කටයුතු සඳහා ආරක්ෂක කඳවුරු පවතින ඉඩම් ප්‍රමාණයන් කොපමණ දුරට යොදාගත හැකිද යන්න පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා නියෝග කළේය.
මෙම කාරක සභා රැස්වීමේදී යුද, නාවික සහ ගුවන් හමුදා පනත් යටතේ ඉදිරිපත් කර තිබූ විශේෂ නියෝග කිහිපයක් ද සලකා බලා අනුමත කෙරුණු අතර, එම නියෝග අද (09) පාර්ලිමේන්තුවේ අනුමතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.














