ශ්‍රී ලංකාව තුළ තිරසාර සහ සියලු දෙනා ඇතුළත් කරගත් ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම සඳහා වෙළඳ ලිහිල්කරණය, ඩිජිටල්කරණය, නියාමන ක්‍රියාවලීන් විධිමත් කිරීම සහ කම්කරු වෙළඳපොළ නවීකරණය කිරීම අඛණ්ඩව සිදු කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අද (09) අවධාරණය කළේය. සිය නවතම මෙහෙයුම අවසානයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකාව සඳහා වන IMF මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියු (Evan Papageorgiou) මහතා මේ බව සඳහන් කළේය.
මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු, ශක්තිමත් රාජ්‍ය ආදායම් බලමුලු ගැන්වීම සහ විචක්ෂණශීලී වියදම් කළමනාකරණය පවත්වා ගැනීම ඉතා වැදගත් බව පෙන්වා දුන්නේය. බදු අනුකූලතාවය අඛණ්ඩව වැඩිදියුණු කිරීම, බදු පදනම පුළුල් කිරීම සහ ඉන්ධන හා විදුලිය සඳහා පිරිවැය පියවා ගැනීමේ මිල සූත්‍ර ක්‍රියාත්මක කිරීම මඟින් මූල්‍ය අවදානම් අවම කර ගත හැකි බව ඔහු පැවසීය. කෙසේ වෙතත්, මෙම පියවරයන් ක්‍රියාත්මක කිරීමේදී සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.
එමෙන්ම රජයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලදී ව්‍යාපෘති ප්‍රමුඛතාවය මත තෝරා ගැනීම සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට අනුකූලව විනිවිදභාවයකින් යුතුව ඒවා ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා විය. මහ බැංකුවේ ස්වාධීනත්වය සුරැකිය යුතු බවත්, අයවැය හිඟය පියවීම සඳහා මුදල් මුද්‍රණය කිරීමෙන් (Monetary financing) වැළකී සිටිය යුතු බවත් IMF මෙහෙයුම් ප්‍රධානියා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














