පසුගිය පෙබරවාරි 28 වනදා ආරම්භ වූ අමෙරිකා – ඊශ්‍රායල සහ ඉරාන ගැටුම් හේතුවෙන් මේ දක්වා ඉරානය පුරා පුද්ගලයන් 3,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන අධිකරණ වෛද්‍ය ප්‍රධානියා අද (අප්‍රේල් 9) රජයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය. යුද්ධය ආරම්භ වී මාස එකහමාරකට ආසන්න කාලයක් ගතවී ඇති මොහොතක මෙම නිල මරණ සංඛ්‍යාව ප්‍රකාශයට පත් කර තිබේ.
මියගිය පිරිසෙන් 40%කගේ පමණ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය පරීක්ෂණ (Forensic work) සිදු කිරීමට සිදුව ඇති බවත්, ඉන් අනතුරුව ඔවුන්ගේ දේහයන් පවුල් වෙත භාර දීමට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ටෙහෙරාන් අගනුවර ඇතුළු ප්‍රධාන නගර රැසකට එල්ල වූ ගුවන් ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් ද ඇතුළුව විශාල පිරිසක් මෙලෙස මියගොස් ඇත.
පසුගිය අඟහරුවාදා දෙපාර්ශවයම සති දෙකක සටන් විරාමයකට එකඟ වුවද, යුද්ධය නිසා සිදු වූ විනාශය සහ ජීවිත හානි පිළිබඳ සංඛ්‍යාලේඛන මේ වන විට නිකුත් වෙමින් පවතී. මෙම මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට ද සැක පළ කෙරේ.














