ජර්මානු පාර්ලිමේන්තුවේ (Bundestag) සභාපතිනී ජූලියා ක්ලොක්නර් (Julia Klöckner) මේ සතියේ එස්තෝනියාවේ සහ ලිතුවේනියාවේ සංචාරයක නිරත වෙමින් නේටෝ (NATO) සංවිධානයේ නැගෙනහිර දේශසීමාවේ පවතින ආරක්ෂක තර්ජන සහ සයිබර් ආරක්ෂණ ක්‍රමවේද පිළිබඳව සාකච්ඡා කළාය. රුසියානු-යුක්රේන යුද්ධය සහ වත්මන් ඉරාන යුද වාතාවරණය හමුවේ බෝල්ටික් කලාපයට එල්ල විය හැකි දෙමුහුන් ප්‍රහාර (Hybrid attacks) වලට මුහුණ දීම සඳහා යුරෝපා සංගමය එක් හඬකින් කටයුතු කිරීමේ අවශ්‍යතාව ඇය මෙහිදී අවධාරණය කළාය.
ක්ලොක්නර් මහත්මිය බදාදා එස්තෝනියානු අග්‍රාමාත්‍ය ක්‍රිස්ටන් මයිකල් ඇතුළු නායකයන් හමු වූ අතර, ලිතුවේනියානු ජනාධිපති ගිටානාස් නවුසේඩා සමඟ ද විශේෂ සාකච්ඡා පැවැත්වූවාය. ඉහළ මට්ටමේ ඩිජිටල්කරණයක් සහිත එස්තෝනියාවෙන් සයිබර් ආරක්ෂණ සහ ඩිජිටල් පාලනය පිළිබඳව ජර්මනියට බොහෝ දේ ඉගෙන ගත හැකි බව ඇය සඳහන් කළාය.
මෙම සංචාරයේ විශේෂ අංගයක් ලෙස ඇය බ්‍රහස්පතින්දා ලිතුවේනියාවේ රඳවා සිටින ජර්මානු බුන්ඩෙස්වෙයාර් (Bundeswehr) බලකාය නිරීක්ෂණය කිරීමට ද නියමිතය. නේටෝවේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා 2027 වසර වන විට ජර්මානු සෙබළුන් 5,000ක් පමණ ලිතුවේනියාවේ ස්ථිරවම රඳවා තැබීමට ජර්මනිය සැලසුම් කර තිබේ.














