අමෙරිකාව සහ ඉරානය අතර සති අන්තයේදී පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වීමට නියමිත තීරණාත්මක සාකච්ඡාවලට පෙර, යුරේනියම් සෙලවීමේ (Enrich uranium) අයිතිය ආරක්ෂා කර ගැනීම තමන්ට “අත්‍යවශ්‍ය” කරුණක් බව ඉරාන න්‍යෂ්ටික ඒජන්සියේ ප්‍රධානී මොහොමඩ් එස්ලාමි (Mohammad Eslami) ප්‍රකාශ කළේය.
අභාවප්‍රාප්ත උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි අනුස්මරණ උත්සවයකදී ටෙහෙරාන් නුවර සිට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අමෙරිකාව සමඟ ඇති කර ගැනීමට නියමිත ඕනෑම සටන් විරාමයකදී හෝ එකඟතාවයකදී ඉරානයේ මෙම අයිතිය තහවුරු කළ යුතු බවයි. යුද්ධය ආරම්භ වී මාස එකහමාරකට පමණ පසු දෙපාර්ශවය අතර සෘජු සාකච්ඡා ආරම්භ වීමට නියමිත පසුබිමක එස්ලාමිගේ මෙම ප්‍රකාශය ඉතා වැදගත් වේ.
න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර පවතින මෙම මතභේදය ඉදිරි සාකච්ඡාවල සාර්ථකත්වයට තීරණාත්මක ලෙස බලපානු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති.














