දශක හයකට අධික කාලයක් නිසි නඩත්තුවකින් තොරව පැවති කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ, වර්තමාන රජයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ නවීකරණය කර ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය. 1964 වසරේ ඉදිකරන ලද මෙම බස් නැවතුම්පොළ නවීන පහසුකම් සහිතව ප්‍රතිසංස්කරණය කර පසුගිය අප්‍රේල් 08 වන දින නිල වශයෙන් විවෘත කෙරිණි.
ප්‍රතිසංස්කරණ කටයුතුවලදී කාන්තාවන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබීම අග්‍රාමාත්‍යතුමියගේ ඇගයීමට ලක් වූ අතර, විශේෂයෙන්ම කිරිදෙන මවුවරුන් වෙනුවෙන් වෙන් කර ඇති පෞද්ගලික විවේක ස්ථාන ඇයගේ විශේෂ ප්‍රශංසාවට ලක් විය. මගී ආසන වෙන්කිරීමේ නවීන ක්‍රමවේද සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ස්ථාපිත කර ඇති නවීන නිරීක්ෂණ මැදිරිය ද මෙහිදී පරීක්ෂාවට ලක් කෙරිණි.
මගී ජනතාව සමඟ සුහද පිළිසඳරක නිරත වෙමින් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, පොදු ප්‍රවාහනය යනු සාමාන්‍ය ජනතාවට ගෞරවනීය ලෙස සහ ආරක්ෂිතව පරිහරණය කළ හැකි නවීන සේවාවක් බවට පත් කිරීම රජයේ මූලික අරමුණ බවයි.














