නුවරඑළිය වසන්ත සැණකෙළිය නිමිත්තෙන් නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට සහ පාරිභෝගිකයින්ට ගුණාත්මක සේවාවක් සහ පිරිසිදු ආහාර ලබාදීම තහවුරු කිරීම සඳහා නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (09) දින නගරය පුරා හදිසි වැටලීමක් සිදු කළහ. මෙහිදී නගරයේ පිහිටි ආපනශාලා, තොග සහ සිල්ලර වෙළඳසැල් මෙන්ම බේකරි ඇතුළු ස්ථාන රැසක් නිලධාරීන්ගේ දැඩි පරීක්ෂාවට ලක් විය.
මෙම වැටලීමේදී පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම, අපිරිසිදු වටපිටාවන්හි ආහාර පිළියෙළ කිරීම සහ පවත්වාගෙන යාම මෙන්ම නිසි ලේබල් නොමැති ආහාර ද්‍රව්‍ය අලෙවියට තබා තිබීම වැනි බරපතල වැරදි රැසක් නිලධාරීන් විසින් අනාවරණය කර ගන්නා ලදී. ඒ අනුව සෞඛ්‍ය නීති උල්ලංඝනය කළ වෙළඳසැල් හිමියන් විශාල පිරිසකට එරෙහිව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් නුසුදුසු ආහාර ද්‍රව්‍ය විනාශ කිරීමට ද කටයුතු කෙරිණි.














