උතුරු අත්ලාන්තික් සාගරයේ පිහිටි ඉතා වැදගත් මුහුදු පතුලේ සන්නිවේදන රැහැන් (Undersea cables) පරීක්ෂා කිරීමට උත්සාහ කළ රුසියානු සබ්මැරීන කිහිපයක මෙහෙයුමක් ව්‍යර්ථ කිරීමට බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව සමත්ව ඇති බව බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ජෝන් හීලි (John Healey) ප්‍රකාශ කළේය. ඩවුනින් වීදියේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ බ්‍රිතාන්‍ය යුද නැව් සහ පී-8 (P8) මුහුදු මුර සංචාරක යානා මාසයකට වැඩි කාලයක් පුරා මෙම රුසියානු සබ්මැරීන නිරීක්ෂණය කරමින් ඒවායේ මෙහෙයුම් අත්හැර දැමීමට බල කළ බවයි.
රුසියානු සබ්මැරීන තුනක් විසින් සිදු කිරීමට උත්සාහ කළ මෙම “අනිෂ්ට ක්‍රියාකාරකම්” (Malign activity) මඟින් බ්‍රිතාන්‍යයේ වැදගත් යටිතල පහසුකම්වලට තර්ජනයක් එල්ල වීමට ඉඩ තිබූ බව ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන්නේය. රුසියාව විසින් යුරෝපයේ බලශක්ති සහ සන්නිවේදන ජාලයන් ඉලක්ක කර ගනිමින් සිදු කරන මෙවැනි සෝදිසි කිරීම් පිළිබඳව නේටෝ (NATO) සංවිධානය මීට පෙර ද අනතුරු අඟවා තිබුණි. බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ මෙම සාර්ථක මෙහෙයුම මඟින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට හැකි වූ බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම සිදුවීමත් සමඟ රුසියාව සහ බ්‍රිතාන්‍යය අතර පවතින ආරක්ෂක උණුසුම තවදුරටත් ඉහළ ගොස් තිබේ. විශේෂයෙන්ම උතුරු මුහුදේ පවතින වැදගත් සන්නිවේදන මාර්ග ආරක්ෂා කර ගැනීම සඳහා බ්‍රිතාන්‍යය සහ එහි මිත්‍ර රටවල් සිය නාවික නිරීක්ෂණ කටයුතු දැඩි කර ඇති බව ද මෙම වාර්තා මඟින් තහවුරු වේ.
















