කාන්තාවන්ට, දරුවන්ට, වැඩිහිටියන්ට සහ ආබාධිත පුද්ගලයන්ට ගෞරවාන්විතව සහ පහසුවෙන් සේවා ලබාගත හැකි තිරසාර ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීම රජයේ මූලික අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. ඇය මේ බව ප්‍රකාශ කළේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ප්‍රවාහන හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය අද (09) ආරම්භ කරමිනි. ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වය සහ රජයේ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 2,162කට අධික මුදලක් මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කර තිබේ.
මෙම නවීකරණ ව්‍යාපෘතිය යටතේ ඉදිරි මාස 15 ඇතුළත කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළ ප්‍රධාන අංග කිහිපයක් ස්ථාපිත කිරීමට නියමිතය. ඒ අනුව සාම්ප්‍රදායික ටිකට්පත් ක්‍රමවේද වෙනුවට නවීන ස්වයංක්‍රීය ටිකට්පත් නිකුත් කිරීමේ පද්ධති හඳුන්වාදීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් විදුලි සෝපාන (Lifts) සහ නවීන ගුවන් පාලම් පද්ධති ඉදිකිරීම මෙන්ම උසස් ප්‍රමිතියෙන් යුත් සනීපාරක්ෂක පහසුකම් ඇති කිරීම සිදු කෙරේ. මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය හරහා දෛනිකව දුම්රිය භාවිත කරන ලක්ෂ සංඛ්‍යාත මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් සැලසීමට අපේක්ෂිතය.














