දුම්රිය තුළ සහ දුම්රිය ස්ථාන ආශ්‍රිත ආපනශාලාවල මිල දර්ශක ප්‍රදර්ශනය නොකර වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැඩි නීතිමය පියවර ගෙන තිබේ. පාරිභෝගිකයන් මුහුණ දෙන මෙම අසාධාරණ තත්ත්වය පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් දිවයින පුරා අඛණ්ඩ වැටලීම් සහ විමර්ශන සිදු කරන ලෙස සියලුම දිස්ත්‍රික් නිලධාරීන් දැනුවත් කර ඇත. පසුගියදා කොළඹ කොටුව සහ මඩකලපුව අතර ධාවනය වන “මීනගයා” රාත්‍රී දුම්රියේ ආපනශාලාව හදිසි වැටලීමකට ලක් කර ඇති අතර එහිදී පානීය ජල බෝතල් නියමිත මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත.
එසේම අද (09) දිනයේදී මරදාන දුම්රිය ස්ථානයේ පිහිටි ආපනශාලාවක් ද නිලධාරීන්ගේ වැටලීමට ලක් වූ අතර පාරිභෝගිකයන්ට අසාධාරණයක් වන පරිදි වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් නීතියේ රැහැනට කොටු කිරීම සඳහා මෙම මෙහෙයුම් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික අධිකාරිය අවධාරණය කරයි. මගී ජනතාවට සහනදායී සහ විනිවිදභාවයකින් යුතු සේවාවක් සැපයීම සහතික කිරීම රජයේ අරමුණ වී තිබේ.
















