ගල්අඟුරු ටෙන්ඩර් දෙකක් පිරිනැමීමේදී බරපතල අක්‍රමිකතා සිදුව ඇති බවට චෝදනා කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP) එම කොන්ත්‍රාත්තු අවලංගු කිරීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව පවසයි. අප්‍රේල් 9 වනදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේ Trident Kempfer සමාගමට ලබා දුන් දිගුකාලීන ටෙන්ඩරය සහ Taranjot Resources සමාගමට ලබා දුන් හදිසි ටෙන්ඩරය යන දෙකම නිසි පටිපාටිය උල්ලංඝණය කරමින් පිරිනමා ඇති බවයි.
ජාතික විගණන කාර්යාලයේ 2026 අප්‍රේල් 2 වන දිනැති වාර්තාව උපුටා දක්වමින් ඔහු කියා සිටියේ Trident Kempfer සමාගම නිල වශයෙන් ලියාපදිංචි වීමටත් පෙර ටෙන්ඩර් ලේඛන නිකුත් කර ඇති අතර නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ගිවිසුම් අත්සන් කර ඇති බැවින් ඒවා නීත්‍යානුකූලව වලංගු නොවන බවයි. එමෙන්ම Trident Kempfer සමාගම ගල්අඟුරු සැපයීමට අපොහොසත් වීම නිසා මාර්තු 19 වනදා Taranjot Resources වෙත ලබා දුන් හදිසි ටෙන්ඩරය ද දෝෂ සහිත බවත් එම සමාගමට අදාළ ක්ෂේත්‍රයේ ප්‍රමාණවත් අත්දැකීම් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙම අක්‍රමිකතා හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් මත අමතර මූල්‍ය බරක් පැටවීම වැළැක්වීම සඳහා මෙම ගිවිසුම් අවලංගු කරන ලෙස ඉල්ලා ඉදිරියේදී නඩු පවරන බව පුබුදු ජයගොඩ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. පොදු ටෙන්ඩර් පටිපාටිවල විනිවිදභාවය සහ වගවීම පිළිබඳව මෙම සිදුවීමත් සමඟ නැවතත් සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.














