ට්‍රයිඩෙන්ට් කෙම්ෆර් (Trident Kempfer) සමාගමට ලබාදුන් නැව් 25ක දිගුකාලීන ටෙන්ඩරය සහ තරන්ජොට් රිසෝසර්ස් (Taranjot Resources) සමාගමට ලබාදුන් නැව් 5ක හදිසි ටෙන්ඩරය යන දෙකම සම්පූර්ණයෙන් නීති විරෝධී බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි. 2026 අප්‍රේල් 02 වන දින නිකුත් වූ ජාතික විගණන වාර්තාව උපුටා දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ මෙම සමාගම් දෙකම ටෙන්ඩර් සඳහා ලියාපදිංචි වීමේදී අවම සුදුසුකම් පවා සපුරා නොමැති බවයි.
ට්‍රයිඩෙන්ට් කෙම්ෆර් සමාගම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අදාළ සමාගම ලියාපදිංචි වීමටත් පෙර ඔවුන්ට ලංසු ලේඛන යවා ඇති බවත්, නීතිපති අනුමැතිය ලැබීමට පෙර ගිවිසුම් අත්සන් කර ඇති බවත්ය. නීතිපති අනුමැතිය නොමැතිව අත්සන් කරන ලද ගිවිසුමක නෛතික වලංගුතාවයක් නොමැති බව ඔහු අවධාරණය කරයි. එමෙන්ම හදිසි ටෙන්ඩරය ලබාගත් තරන්ජොට් සමාගම පසුගිය මාස 36 තුළ නියමිත ප්‍රමිතියේ ගල් අඟුරු වෙළඳාම් කර කිසිදු අත්දැකීමක් නොමැති බව විගණන වාර්තාවේ සඳහන් වන බවද ඔහු අනාවරණය කළේය.
මෙම දූෂිත ගනුදෙනු නිසා සිදුවී ඇති පාඩුව විදුලි ගාස්තුවට එකතු කර ජනතාව මත පැටවීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරයි. මෙම ටෙන්ඩර් දෙකම නෛතිකව අවලංගු බව ප්‍රකාශ කරන ලෙසත්, පාරිභෝගිකයන්ට සිදුවන අසාධාරණය වැළැක්වීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා අදාළ නඩුව ගොනු කරන බව පුබුදු ජයගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
















