පර්සියානු ගල්ෆ් මුහුදට ඉහළින් අධි-උසක ඔත්තු බැලීමේ මෙහෙයුමක නිරතව සිටි ඇමරිකානු නාවික හමුදාවට අයත් MQ-4C ට්‍රයිටන් (MQ-4C Triton) වර්ගයේ ඩ්‍රෝන යානයක් හදිසියේ රේඩාර් තිරයෙන් අතුරුදහන් වී තිබේ. අතුරුදහන් වීමට පෙර මෙම යානය ජාත්‍යන්තර හදිසි අනතුරු සංඥාවක් වන ‘7700’ (Emergency Code) නිකුත් කර ඇති අතර, විනාඩි 10ක් වැනි කෙටි කාලයක් තුළ අඩි 40,000ක පමණ උසක සිට වේගයෙන් පහතට ඇදී ගොස් ඇති බව පියාසර දත්ත නිරීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.
මෙම යානය අබුඩාබි හි අල් දෆ්රා (Al Dhafra) ගුවන් කඳවුරේ සිට දියත් කරන ලද්දක් වන අතර, හෝමුස් සමුද්‍ර සන්ධියට දකුණු දෙසින් යාත්‍රා කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත. යානය ඇද වැටීමට හේතුව තාක්ෂණික දෝෂයක් ද නැතහොත් ඉරානය විසින් සිදුකළ සයිබර් හෝ ඉලෙක්ට්‍රොනික ප්‍රහාරයක් ද යන්න පිළිබඳව මෙතෙක් නිල තහවුරු කිරීමක් ලැබී නැත. කෙසේ වෙතත්, වත්මන් යුධමය වාතාවරණය හමුවේ ඇමරිකාවේ අතිනවීන ඔත්තු බැලීමේ යානයක් මෙලෙස විනාශ වීම කලාපීය ආරක්ෂාව පිළිබඳ බරපතල තත්ත්වයක් නිර්මාණය කර ඇති බව විචාරකයෝ පවසති.
මුලාශ්‍රය – RN Intel / Flightradar24 / Defence Security Asia














