මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සාම්ප්‍රදායික අවුරුදු කැවිලි මේසයක් පිළියෙල කිරීම සඳහා වැය වන පිරිවැය පසුගිය වසරට සාපේක්ෂව 7.0% කින් ඉහළ ගොස් ඇති බව වේරිටේ රිසර්ච් (Verite Research) ආයතනය පවසයි. එම ආයතනයේ PublicFinance.lk වේදිකාව මඟින් සිදු කළ විශ්ලේෂණයකට අනුව, මෙම මිල ඉහළ යාම 2019 වසරට සාපේක්ෂව 2.5 ගුණයක වැඩි වීමකි. සමස්ත පිරිවැය ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ පොල්තෙල් සහ සහල් පිටි මිල ඉහළ යාම වන අතර මුළු පිරිවැය වැඩිවීමෙන් 80% කටම දායක වී ඇත්තේ මෙම අමුද්‍රව්‍ය දෙකයි.
කිරිබත්, කොකිස්, කෙසෙල්, අලුවා, කැවුම්, දොදොල්, මුං කැවුම් සහ බටර් කේක් යන සාම්ප්‍රදායික කැවිලි වර්ග අටෙන් හයකම මිල ගණන් මෙවර ඉහළ ගොස් ඇති බව වාර්තාව පෙන්වා දෙයි. මෙම විශ්ලේෂණය සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් විවෘත වෙළඳපල සිල්ලර මිල දත්ත පදනම් කරගෙන තිබේ. ආර්ථික අර්බුදයෙන් පසු පාරිභෝගිකයන්ට අලුත් අවුරුදු සමරන්නට සිදුව ඇත්තේ මෙවන් ඉහළ පිරිවැයක් දරා ගනිමිනි.














