කුණ්ඩසාලේ බලගොල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචි ජනතාවට දින පහක් තිස්සේ නළ ජලය නොලැබීම හේතුවෙන් ගම්මාන හයක පමණ පිරිස් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. පවතින නියඟය හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම පහත වැටීම සහ ජලය ලබා ගන්නා ස්ථානයේ රොන් මඩ පිරී තිබීම නිසා මෙම ජල අර්බුදය උද්ගත වී ඇති බව ජාතික ජලසම්පාදන මණ්ඩලය ප්‍රකාශ කරයි.
ජලය නොමැතිකම නිසා පල්ලේකැලේ, බලගොල්ල, වරාපිටිය සහ නත්තරම්පොත යන ප්‍රදේශවල ජනතාව එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට පවා නොහැකිව පීඩා විඳින අතර බොහෝ පිරිසක් මුදල් ගෙවා බෝතල් කළ ජලය ලබා ගැනීමට පෙළඹී සිටිති. පාසල් දරුවන් සහ රැකියා සඳහා යන පිරිස් මේ හේතුවෙන් දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර අවම වශයෙන් බවුසර් මඟින් හෝ ජලය ලබා දීමට පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවෙන් සහ ජලසම්පාදන මණ්ඩලයෙන් ඉල්ලා සිටිති.














