වාහන ආනයනකරුවන්ට ගරාජ් අංක (CC Numbers) නිකුත් කිරීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV) උසස් නිලධාරීන් පිරිසක් අල්ලස් ලබාගන්නා බවට ලැබුණු පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. හිටපු කොමසාරිස්වරයෙකු නිකුත් කළ චක්‍රලේඛයක් අයථා ලෙස භාවිත කරමින්, ව්‍යාපාර ලියාපදිංචි සහතික සහ ආදායම් බදු ලේඛන පරීක්ෂා කිරීමේ මුවාවෙන් මෙම ජාවාරම සිදු කර ඇති බවට සැක කෙරේ.
ගරාජ් අංක ලබාදීමට පෙර සිදු කළ යුතු ස්ථානීය පරීක්ෂණ සහ ලේඛන සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කරන මුවාවෙන් වාහන ආනයනකරුවන්ගෙන් මුදල් ලබාගෙන ඇති බවට අල්ලස් කොමිසමට තොරතුරු ලැබී ඇත. මෙම දූෂිත ක්‍රියාවන්ට සම්බන්ධ නිලධාරීන් සහ ඊට අදාළ ලේඛන හඳුනා ගැනීම සඳහා අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් මේ වන විටත් මෙහෙයුම් ආරම්භ කර තිබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුවන මෙවැනි අක්‍රමිකතා හේතුවෙන් රජයට ලැබිය යුතු ආදායම් අහිමි වීම මෙන්ම ව්‍යාපාරිකයන් දැඩි අපහසුතාවට පත්වීම පිළිබඳව ද විමර්ශනයේදී අවධානය යොමු කෙරේ.














