මොරගහහේන, කුඹුක ප්‍රදේශයේ නිවසක් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන බවට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට ලැබුණු තොරතුරක් මත අද (09) අලුයම සිදුකළ වැටලීමකදී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වීර හැන්නදිගේ කුසුම්ලතා ප්‍රනාන්දු හෙවත් “කාන්ති” නැමැති සැකකාරියකි. වැටලීම සිදුකරන අවස්ථාවේදී තමන්ගේ පුතා පොලිස් පරීක්ෂකවරයෙකු බව පවසමින් ඇය පරීක්ෂාවට විරෝධය පළ කර ඇති නමුත් පොලිස් නිලධාරිනියක ලවා සිදුකළ සෝදිසි කිරීමේදී ඇය සන්තකයේ තිබූ මත්ද්‍රව්‍ය හමු වී ඇත.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකාරියගේ පුතා කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙකු බවයි. ඔහු පිළිබඳ තොරතුරු ද භාවිතා කරමින් මෙම නිවස ප්‍රදේශය පුරා මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා ආරක්ෂිත ස්ථානයක් ලෙස යොදාගෙන තිබූ බවට සැක කෙරේ. වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ ඇතුළු කණ්ඩායමක් මෙම සාර්ථක වැටලීම සිදුකර තිබේ.














