චිකාගෝ නුවර වෙසෙන ආදම් ජේකොබ්ස් (Aadam Jacobs) නම් සංගීත ලෝලියා දශක හතරක් පුරා රහසිගතව පටිගත කරන ලද සජීවී සංගීත ප්‍රසංග 10,000කට අධික සංඛ්‍යාවක් මේ වන විට අන්තර්ජාලය ඔස්සේ නොමිලේ ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දී තිබේ. 1989 වසරේදී ඔහු සිය කුඩා කැසට් රෙකෝඩරයෙන් පටිගත කළ ලෝක ප්‍රකට “නර්වානා” (Nirvana) කණ්ඩායමේ මුල්කාලීන ප්‍රසංගයක් ද මීට ඇතුළත් වන අතර, එහිදී ඔවුන් “අපි සීඇටල් සිට පැමිණි නර්වානා කණ්ඩායමයි” යනුවෙන් හඳුන්වා දෙන අයුරු පවා පටිගත වී ඇත.
ඇමරිකාවේ සහ යුරෝපයේ ස්වේච්ඡා සේවකයන් පිරිසක් එක්ව මෙම පටිගත කිරීම් ඩිජිටල්කරණය කර “Internet Archive” වෙබ් අඩවියේ ඇති “Aadam Jacobs Collection” වෙත උඩුගත කරමින් සිටිති. මෙලෙස සංරක්ෂණය කර ඇති එකතුවෙහි ට්‍රේසි චැප්මන් ඇතුළු ලෝක ප්‍රකට ගායක ගායිකාවන්ගේ සහ සංගීත කණ්ඩායම්වල දුර්ලභ පටිගත කිරීම් රැසක් අඩංගු වේ. සංගීත ලෝලීන්ට සහ පර්යේෂකයන්ට මෙම සුවිශේෂී එකතුව දැන් නිදහසේ පරිශීලනය කළ හැකිය.














