ඉරාන රජයට සම්බන්ධ කණ්ඩායම් කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතා කරමින් නිර්මාණය කරන ලද ඉංග්‍රීසි භාෂා ‘මීම්ස්’ (Memes) හරහා වත්මන් ඉරාන යුද්ධයට අදාළ මහජන මතය වෙනස් කිරීමටත්, බටහිර රටවල් තුළ යුද්ධයට එරෙහි විරෝධයක් ගොඩනැගීමටත් උත්සාහ කරමින් සිටින බව විශ්ලේෂකයෝ පවසති. මෙමඟින් ඇමරිකානු දේශපාලනඥයන්, විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් අන්තර්ජාලය හරහා උපහාසාත්මක ප්‍රචාරණයක් දියත් කරමින් පවතී.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ AI පර්යේෂකයෙකු වන නීල් ලැවී-ඩ්‍රයිවර් පවසන්නේ, මෙය ඉරානය විසින් දියත් කරන ලද සූක්ෂ්ම ප්‍රචාරක යුද්ධයක් බවයි. සීමිත සම්පත් භාවිතා කරමින් බටහිර රටවල් තුළ අසහනය සහ මතභේද ඇති කිරීම හරහා, අවසානයේදී යුද්ධය නතර කිරීමට බටහිර බලවතුන්ට බල කිරීම මොවුන්ගේ මූලික උපාය මාර්ගය වී ඇති බව විද්වතුන් පෙන්වා දෙයි. යුද්ධයේ සැබෑ ස්වරූපය වසන් කර තමන්ට වාසිදායක ලෙස තොරතුරු සමාජගත කිරීම සඳහා මෙලෙස කෘත්‍රිම බුද්ධිය හරහා නිර්මාණය කළ නවීන තාක්ෂණික මෙවලම් බහුලව යොදා ගැනේ.














