ඉරාන-ඊශ්‍රායල යුද්ධය සහ ඇමරිකාවේ මැදිහත් වීම ආරම්භ වූ ආකාරය පිළිබඳව ඉතාමත් තීරණාත්මක තොරතුරු රැසක් ‘නිව්යෝර්ක් ටයිම්ස්’ (New York Times) පුවත්පත විසින් අනාවරණය කර තිබේ. මෙම වාර්තාවට අනුව, යුද්ධයේ ආරම්භය පෙබරවාරි 11 වන දින ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ධවල මන්දිරයේදී පැවති හමුව දක්වා දිව යයි.
එහිදී නෙදන්යාහු විසින් ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ හැකියාව සහ එරට මිසයිල පද්ධතිය සති කිහිපයක් තුළ විනාශ කළ හැකි බවට ට්‍රම්ප් වෙත සහතික වී ඇති අතර, ඉරානයෙන් එල්ල විය හැකි ප්‍රතිප්‍රහාර “අවම මට්ටමක” පවතිනු ඇති බවට ද පවසා ඇත. මෙම සහතික කිරීම් හමුවේ ට්‍රම්ප් විසින් යුධ මෙහෙයුම් සඳහා සිය එකඟතාවය පළ කර තිබේ. පසුව පෙබරවාරි 26 වන දින පැවති අවසන් ආරක්ෂක රැස්වීමේදී ජේ.ඩී. වැන්ස් සහ මාර්කෝ රූබියෝ වැනි ප්‍රබලයන් මෙයට සිය අකමැත්ත පළ කළ ද, ලෝක තෙල් සැපයුමට එල්ල විය හැකි බලපෑම ගැන අවධානය යොමු නොකරම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
පෙබරවාරි මස අගදී ගුවන් හමුදා අංක එකේ (Air Force One) යානයේ සිටිමින් ට්‍රම්ප් විසින් “Operation Epic Fury අනුමතයි. ආපසු හැරීමක් නැත. වාසනාව ලැබේවා!” යනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් යුද්ධයට අවසර ලබා දී තිබේ. කෙසේ වෙතත්, නෙදන්යාහු ලබා දුන් සහතික කිරීම් සියල්ලම පාහේ සාවද්‍ය බවට පත්වෙමින්, යුද්ධය දීර්ඝ සහ විනාශකාරී මුහුණුවරක් ගත් බව මෙම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
මුලාශ්‍රය – New York Times














