මෙරට රාජ්‍ය සේවයේ නියුතු සියලුම සේවකයන්ට ගෞරවනීය වටිනාකමක් හිමි විය යුතු බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා අවධාරණය කරයි. අද (09) නාරාහෙන්පිට “නිපුණතා පියස” පරිශ්‍රයේදී පැවැත්වුණු ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ (VTA) නව පුහුණු උපදේශකවරුන් සහ පුහුණු නිලධාරීන් සඳහා පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. මෙහිදී වසර හතරකට පසුව වෘත්තීය පුහුණු ක්ෂේත්‍ර 29ක් වෙනුවෙන් නව උපදේශකවරුන් 216ක් සහ පුහුණු නිලධාරීන් 25ක් සඳහා පත්වීම් ලිපි පිරිනමන ලදී.
රාජ්‍ය සේවය කාර්යක්ෂම සහ නිකැලැල් සේවාවක් ලෙස පවත්වාගෙන යාමට නම් සේවකයාට නිසි ගෞරවය සහ තෘප්තිමත්භාවය අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ වෙනුවෙන් වැටුප් වැඩි කිරීම ඇතුළු සුභසාධන පහසුකම් සැලසීමට රජය දැනටමත් කටයුතු කරමින් සිටින බවත්, ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත වෘත්තීය අධ්‍යාපන අංශය සඳහා වැඩි මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇති බවත් ඔහු සඳහන් කළේය. වෘත්තීය පුහුණු උපදේශකවරුන්ගෙන් අධ්‍යාපනය ලබන දරුවන් අනාගතයේදී රටේ ආර්ථිකයට සෘජුව දායක වන වත්කමක් වන බැවින්, එම වගකීම නිසි ලෙස ඉටු කරන ලෙස ද අමාත්‍යවරයා පත්වීම්ලාභීන්ගෙන් ඉල්ලා සිටියේය.














