හෝමුස් සමුද්‍ර සන්ධියේ අටවා ඇති මුහුදු බෝම්බ මගහරිමින් ආරක්ෂිතව යාත්‍රා කිරීම සඳහා ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) විසින් විශේෂ සිතියමක් හඳුන්වා දී තිබේ. ඉරාන නාවික හමුදාව පවසන්නේ එම බලකාය සමඟ සම්බන්ධීකරණය වෙමින් නෞකාවලට ආරක්ෂිතව ගමන් කිරීමට මෙමඟින් අවස්ථාව ලැබෙන බවයි.
කෙසේ වෙතත්, හෝමුස් සමුද්‍ර සන්ධිය තෙල් ප්‍රවාහන නෞකා සඳහා විවෘතව පවතින්නේ ද යන්න පිළිබඳව තවමත් පවතින්නේ පරස්පර වාර්තා වේ. ඇතැම් ඉරාන මාධ්‍ය වාර්තා කර සිටියේ සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බවත්, තෙල් ප්‍රවාහන නෞකා ආපසු හරවා යවා ඇති බවත්ය. එහෙත් තවත් වාර්තාවල දැක්වෙන්නේ ආරක්ෂක බළකායේ මඟපෙන්වීම යටතේ සීමිත මෙහෙයුම් සඳහා අවසර ලැබෙන බවයි. ලෝක තෙල් සැපයුමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින මෙම අවිනිශ්චිත තත්ත්වය ගෝලීය බලශක්ති වෙළඳපොළ කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.














