නවක වෛද්‍යවරුන්ට පත්වීම් ලබා දීමේදී රජය කිසියම් වරදක් කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, එසේ නොකර වැඩ වර්ජන මගින් ජනතාව අපහසුතාවට පත් නොකරන ලෙසත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. රජයේ සේවයට එක්වීමට නවක වෛද්‍යවරුන් සූදානම්ව සිටියදී, එය පදනම් කරගෙන සිදු කරන වැඩ වර්ජන කිසිසේත් සාධාරණ නොවන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම වැඩ වර්ජන පිටුපස දේශපාලන අරමුණු පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, පත්වීම් ලබාගත් වෛද්‍යවරුන්ට බියකින් තොරව සේවයට වාර්තා කරන ලෙසත්, ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව පොලිසිය සහ මහජනතාවගෙන් ලැබෙනු ඇති බවත් සඳහන් කළේය. දේශපාලන අරමුණු වෙනුවෙන් ජනතාව පීඩාවට පත් කරන්නේ නම් එවැනි සංගම් සමඟ සාකච්ඡා කිරීමට රජය සූදානම් නැති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.














