මැදපෙරදිග පවතින සටන් විරාමය පිළිබඳව ඉරානය අද අතිශය තීරණාත්මක සහ දැඩි ස්ථාවරයක් නිවේදනය කර තිබේ. ඉරාන බලධාරීන් අවධාරණය කර සිටින්නේ ලෙබනනයට එල්ල වන ප්‍රහාර නතර නොකර සහ ලෙබනනය ද ඇතුළත් වන පරිදි “සැබෑ සටන් විරාමයක්” ක්‍රියාත්මක නොකර කිසිදු සාම සාකච්ඡාවකට තමන් එකඟ නොවන බවයි. එක් පෙරමුණක පමණක් සාමය පවත්වා ගැනීම ප්‍රායෝගික නොවන බවත්, සටන් විරාම ගිවිසුම් දෙකම එකිනෙකට බැඳී පවතින බවත් ටෙහෙරානය පෙන්වා දෙයි.
ඉරානය විසින් “සැබෑ සටන් විරාමයක්” යන්නට ලබා දී ඇති නිර්වචනයට අනුව, ඊශ්‍රායලය විසින් සිදුකරන ඉලක්කගත ඝාතන මුළුමනින්ම නැවැත්විය යුතු අතර, තමන්ට අවශ්‍ය පරිදි තෝරාගත් ප්‍රදේශවලට පමණක් ප්‍රහාර එල්ල කරමින් සටන් විරාමය තමන්ට වාසිදායක ලෙස යොදා ගැනීම ද නතර කළ යුතුය. එසේම ඕනෑම ආකාරයක සටන් විරාම උල්ලංඝනය කිරීමකට එරෙහිව අසමානුපාතික ලෙස දැවැන්ත ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට තමන් සූදානම් බවට ද ඉරානය අනතුරු අඟවයි.
පකිස්ථානය විසින් ලෙබනනය ද සටන් විරාම ගිවිසුමේ කොටසක් බව පවසද්දීත්, ඊශ්‍රායලය සහ අමෙරිකාව එය බැහැර කිරීමට උත්සාහ කළ ද, ඉරානය මෙලෙස සිය ස්ථාවරය දැඩි කිරීම හරහා මැදපෙරදිග කලාපීය බල තුලනය සදහටම වෙනස් වන ලකුණු පහළ වී තිබේ. ඉරානය පෙර කවරදාකටත් වඩා එඩිතර ස්ථාවරයක සිටිමින් ලෙබනනය වෙනුවෙන් පෙනී සිටීම, ලබන සෙනසුරාදා පාකිස්ථානයේදී පැවැත්වෙන අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාවලට ද විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
තොරතුරු උපුටා ගැනීම: Middle East Spectator ඇසුරින්














